ජනපතිවරයකුට වාහනයක් ගෙන්වීමේදී ජිල්මාට් ගොඩක්…

හිටපු ජනාධිපතිවරයකුගේ භාවිතයට සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විදේශීය සැපයුම්කරුවකු වෙත ණයවර ලිපි මගින් රුපියල් එක්කෝටි හැටහතරලක්ෂ අසූනවදහස් හත්සිය එකොළහක මුදලක් ප්‍රේෂණය කර තිබිය දී නැවත පෞද්ගලික පාර්ශ්වයක් වෙත ද රුපියල් එක්කෝටි හැටදෙලක්ෂ පනස්දහසක මුදලක් (16,250,000) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
අදාළ පෞද්ගලික පාර්ශ්වය විසින් එම මුදල විදේශීය සැපයුම්කරුට ගාස්තු වශයෙන් ගෙවූ බව දන්වා තිබුණ ද එසේ මුදල් ගෙවූ බවට තහවුරු නොවූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ණයවර ලිපි විවෘත කර තිබිය දී රජයේ මුදල් තෙවන පාර්ශ්වයකට ගෙවීම සඳහා පදනම විගණනයේ දී අනාවරණය වී නැත.
මෙකී පෞද්ගලික පාර්ශ්වය විසින් මෙම මෝටර් රථය ආනයනය කර කාර්යාලයට ලබා දුන් බවට තහවුරු නොවූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව හිටපු ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා 2013 වර්ෂයේ දී Mercedes Benz G63 AMG මාදිලියේ මෙම මෝටර් රථය විදේශීය සැපයුම්කරුවකුගෙන් මිලදී ගෙන තිබුණි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සඳහා බ්‍රිතාන්‍ය සැපයුම්කරුට 2013 නොවැම්බර් මස 14 දින ණයවර ලිපි මගින් රුපියල් එක්කෝටි හැටහතරලක්ෂ අසූනවදහස් හත්සිය එකොළහක මුදලක් ප්‍රේෂණය කර තිබුණි.
මීට අමතරව 2014 වර්ෂයේ මාර්තු මස 07 හා මැයි මස 09 වැනි දිනවල පෞද්ගලික පාර්ශ්වයක් වෙත නැවත රුපියල් එක්කෝටි හැටදෙලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා තිබුණි. 2013 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී තිබූ මෙම මෝටර් රථය ඉන් වසර හයකට පසු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබුණි.
මෙම මෝටර් රථය ආනයනය කිරීමේදී ආනයන රේගු බදු මුදල වූ රුපියල් හාරකෝටි පනස්නව ලක්ෂ අසූ දෙදහස් හාරසිය තිස්අටක් වූ මුදල නිදහස් කර ගැනීම සඳහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි. ගෙවීම්වලට අදාළ ගෙවීම් වවුචර්පත් හා අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
මෙකී මෝටර් රථය 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා වසර 11 ක කාලය තුළ කිලෝමීටර් 49,950ක් පමණක් ධාවනය කර තිබුණි. එම කාලයේ දී මෝටර් රථයේ අලුත්වැඩියා නඩත්තු සහ වාර සේවා වියදම් ලෙස රුපියල් එක්කෝටි හතලිස්පන්ලක්ෂ හාරදහස් හත්සිය අනූ හතරක මුදලක් වැය කර තිබුණි.
Comments
Post a Comment