දැදුරුඔයේ විෂ මාළුවා ඇල්ලුවොත් රජයෙන් විසිපන්දාහක් තෑගි…


දැදුරුඔයේ විෂ මාළුවා ඇල්ලුවොත් රජයෙන් විසිපන්දාහක් තෑගි…





දැදුරඔය තුළ ව්‍යාප්ත වෙමින් පවතින “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” නම් මත්ස්‍යා බිලී පිති උපයෝගී කරගෙන ඇල්ලීමේ තරගයක් පැවැත්වීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය කටයුතු කර ඇත. ලබන 20 වැනිදා අලුයම 5.00 සිට දහවල් 1.00 දක්වා දැදුරුඔය ජලාශයේ “නාටියා පාලම” ආසන්නයේදී මෙම තරගය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.


මසුන් ඇල්ලීම සඳහා බිලී පිති පමණක් භාවිත කළ යුතු අතර, දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතා කිරීමට හැකියාවක් නැත. යම් ආකාරයකට තරගකරුවන් භාවිතා කරන බිලී පිතිවලට දැදරු නයා හැර වෙනත් මසුන් අසුවුවහොත් එම සතුන් ආරක්ෂිතව ආපසු මුදා හැරීම තරගකරුවන් විසින් සිදු කළ යුතු වේ. අල්ලා ගන්නා මසුන් බෙදා ගැනීමේ හැකියාවද තරගකරුවන්ට නොමැති බව සංවිධායකයන් සඳහන් කරයි.

දහවල් 1.00 වන විට වැඩිම මසුන් ප්‍රමාණයක් අල්ලා ගන්නා තරගකරුවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ඒ අනුව ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 25,000 ක්, දෙවන ස්ථානයට රුපියල් 15,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් හිමි වනවා ඇත. ඊට අමතරව සම්මාන 10 ක් ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ජයග්‍රහාකයන් තෝරා ගනු ලබන්නේ අල්ලා ගන්නා මසුන් ප්‍රමාණය අනුව මිස බර අනුව නොවන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

දැදුරුඔය තුළ මේ වන විට සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ස්වදේශීය මසුන්ට තර්ජනයක් විය හැකි බවට හඳුනාගෙන ඇති දැදුරු නයා හෙවත්, ජයන්ට් ස්නේක් හෙඩ් නම් මත්ස්‍යයන් ආරක්ෂිතව පරිසරයෙන් ඉවත් කිරීම මෙම තරගය පැවැත්වීමේ අරමුණ බව සංවිධායකයන් සඳහන් කරයි. එමෙන්ම ආක්‍රමණශීලී මසුන් පිළිබඳ ජනතාව දැණුවත් කිරීමටද සංවිධායකයන් මෙහිදී කටයුතු සූදානම් කර ඇත. තරගයට සහභාගි වන අය 076 3834369 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකි බවද සංවිධායකයන් සඳහන් කරයි.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…