නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තරු හෝටලයක් හදයි..?


නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තරු හෝටලයක් හදයි..?





උපාලි ආනන්ද – අනුරාධපුර

අනුරාධපුර පූජා නගරයේ කුඔුරු යායක් ගොඩ කර රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස අනුරාධපුර පුරවැසි සංවිධානය එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වර්තමානයේද දිවයිනේ පළාතක් භාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවය.

අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඹුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කළ මෙන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවද එම පැමිණිල්ලේ දැක්වේ.මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධපුර පොලිස් කෙට්ඨාසයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත්වල සටහන්ව තිබෙන බවද පැවසේ.


මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බව පවසන එම එකමුතුව හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද කියයි.

අනුරාධපුර පුද බිමේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයත්, ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සියලු ස්තූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ඊට ගැලපෙන නමක් යොදා ඇති බවද පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිල රුපියල් 27000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබඳ සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයිද කියා සිටින පුරවැසි සංවිධාන එකමුතුව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුළුවන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවත් පවසයි.

එමෙන්ම කුරුණෑගල හෙට්ටිපොළ මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල, මාතර, මාවනැල්ල, කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිඳට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බවද කියයි.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…