ලක්ෂ 177 ක කෑම බඩු වංචා නඩුවට ආ ඌවතැන්නේ හිමිට ඇප
- Get link
- X
- Other Apps

පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 1.77කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාලිගාවත්ත, ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ අනුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේව මුදා හැරීමට පසුගිය 02 වන දා නියෝග කෙරිණි.කොළඹ 04, ආදුරුප්පු වීදියේ පිහිටි පෞද්ගලික සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. පැමිණිල්ලට අනුව, සැකකාර හිමියන් විසින් පවත්වාගෙන ගිය ආයතනයක් හරහා අල, ලූනු සහ පොල්තෙල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල පියවීම පැහැර හැර ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදී මුදල් ගෙවා භාණ්ඩ ලබාගැනීමෙන් පැමිණිලිකරුගේ විශ්වාසය දිනාගෙන ඇති සැකකාර හිමියන්, පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල් එක්කෝටි හැත්තෑහත් ලක්ෂ අසූදෙදහසකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා වංචා කර ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අමතරව, දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හයක පොල්තෙල් ලබාගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්ද සැකකාර හිමියන්ට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාග වෙමින් පවතී. මීට පෙර අවි ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාවකට කොළඹ මහාධිකරණය මඟින් විසි වසරක සිර දඬුවමක් නියම වී සිටි ඌවතැන්නේ සුමන හිමියන්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් යටතේ නිදහස ලබා තිබිණි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment