සැඟවී සිට භාරවූ අතුරලියේ රතන හිමි සති දෙකක් රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තමන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) දින පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ. අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපියකට අත්සන් ලබාගත් බවට වන චෝදනාවකට අදාළ
විමර්ශන මඟහැර සිටීම හේතුවෙන්, අධිකරණය විසින් පසුගිය අගෝස්තු 18 වනදා උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබිණි.
2020 මහ මැතිවරණයෙන් පසු අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය,
තමන්ව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලබාගත් ලිපියක් මගින් රතන හිමියන් ලබාගත් බවට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කිහිප වරක් දැනුම් දී තිබුණ ද, රතන හිමියන් එය මඟහැර සිටින බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව, උන්වහන්සේව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබිණි. අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් රාජගිරියේ පිහිටි උන්වහන්සේ වැඩසිටි ආරාමයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ එහි නොසිටි අතර, දුරකථනය ද විසන්ධි කර තිබූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබූ පසුබිමක, උන්වහන්සේ අද දින මෙලෙස අධිකරණයට පැමිණ ඇත.
Comments
Post a Comment