බිරියට පිහියෙන් ඇන මැරූ හබරාදුවේ සැමියා අත්අඩංගුවට
- Get link
- X
- Other Apps

ගාල්ල, හබරාදූව, අමුකොටුව කන්ද ප්‍රදේශයේදී පිහියකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා සැකපිට හබරාදූව පොලීසිය මගින් අද (31) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙට (01) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හබරාදුව පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අමුකොටුව කන්ද, පිලාන, අගුලුගහ ලිපිනයේ පදිංචි ලබැදුම විතානගේ ජගත් රුවන් කුමාර (48) නැමැති අයයි.
අමුකොටුව කන්ද, පිලාන, අගුලුගහ ලිපිනයේ පදිංචිව සිටි ඉදිරිමුණි නන්දනී රුද්‍රිගු (42) නැමැති තිදරු මවකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් පෙරේදා (29) රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානයේදී හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ සී පී පෙරේරා මහතා විසින් ඊයේ (30) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වා තිබේ.
පිහි ඇණුම් හේතුවෙන් හෘදය හා අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට සිදු වූ බරපතල හානි හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සදහන් වේ. ඝාතනයට ලක් වූ කාන්තාවගේ පපුවේ, පිට පැත්තේ, බෙල්ලේ සහ ඔලුවේ පිහි ඇණුම් තුවාල 07 ක් දක්නට තිබෙන බවත් ඒවා පශ්චාත් මරණ පරීක්ෂණයේදීද අනාවරණය වූ බවත් හබරාදූව පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇයගේ විවාහක සැමියා වන සැකකරු දැනට වසර කිහිපයක සිට විරසකව වෙන් වෙන් වශයෙන් ජීවත් වන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම කාන්තාව තේ කර්මාන්ත ශාලාවක සේවය කරන බවත් පෙරේදා (29) සවස සේවය අවසන් වී ආපසු පැමිණෙමින් සිටියදී මගරැක සිටි සැමියා විසින් පිහිපාර එල්ල කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හබරාදූව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
පිහි ඇණුම් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. පෙරේදා (29) ප.ව 6.30 ට පමණ මෙම සිද්ධිය ඇතිව තිබෙන බවත් ඝාතනයට ලක් වූ අය ගාල්ල කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙන බවත් හබරාදූව පොලීසිය කියයි.
හබරාදූව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරික්ෂකවරුන් වන විමල් ප්‍රේමවංශ, කරුණාදාස අබේසිංහ, පොලිස් සැරයන් ජානක (66649), පොලිස් කොස්තාපල්වරුන් වන රසික (40998), බණ්ඩාර (75102), රුවන් (72843) සහ ජයසිංහ (9737) යන නිලධාරීන් සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment