රාජිත දින 12 ක් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.
10.45 am update
කොළඹ මහාධිකරණය හමුවේ අද (29) දින පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, එම අධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොසමු කර ඇති අතර එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
වෙනත් නඩුවක් සඳහා අද අධිකරණයට පැමිණි අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර, ඔහුව වහාම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියම කෙරිණි. මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඒ මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට මෙම නියෝගය මගින් වැඩිදුරටත් නියම විය.
හිටපු අමාත්‍යවරයා මහාධිකරණය හමුවේ පෙනී සිටියේ, මෝදර ධීවර වරාය අඩු මුදලකට කුලියට දීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් සඳහාය. එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, වෙනත් දූෂණ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සේනාරත්න මහතාට වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.
ධීවර වරායන්හි වැලි ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් දූෂිත අයුරින් පෞද්ගලික සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන එම නඩුවට අදාළ වරෙන්තුව පදනම් කරගනිමින්, හිටපු අමාත්‍යවරයාට මහාධිකරණය මගින් මීට පෙර ලබාදී තිබූ ඇප අවලංගු කර, ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.
Comments
Post a Comment